www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (4) සදාකාලීක ස්වභාවය.

සදාකාලීක දෙවියන්වහන්සේ

දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ මේ "සදාකාලීක ස්වභාවය" ගැන ගැඹුරු විස්තරයක් උන්වහන්සේම විසින් දී ඇති තවත් අවස්තාවක් නික්මයාම පොතද වාර්තා කරසිටියි. ගිණිගෙන ඇවිළෙන පඳුර ගැන විපරම් කිරීමට මෝසෙස් සීනයි කඳු මුදුණට ගිය ඒ අවස්ථාවේදී, ඒ ඇවිළෙන ගිණි පඳුර තුළින් තමාට දර්ශනය වී කතා කරණ ඒ දෙවියන්ගෙන් මෝසෙස්ද ඔබගේ නම කුමක්දැයි මට කිව මැනව කියා අසා සිටිය ඒ අවස්තාව තුළින් එය මතුවෙයි.

“ඔබ විසින් මාව යවන ඒ මිනිසුන්, ඔවුන් වෙත මා එවූ ඒ දෙවියන් කවුදැයි මාගෙන් අසා සිටින විටදීත්, ඔබගේ නාමය කුමක්දැයි ඔවුන් මාගෙන් විචාරන විටත්, මා විසින් ඔවුන්ට පවසන පිණිස ඔබගේ නම මට කිව මැනව.” -නික්මයාම 3

මෝසෙස්ගේ ඒ ඉල්ලීමට අනුව එදා දෙවියන්වහන්සේ තමන්ව හඳුන්වාදෙන පිණිස “යහවේ” යන ඒ නම පැවසු බව මෝසෙස්ම ඒ ගැන වාර්තා කරයි. හෙබ්‍රෙව් භාෂාවෙන් ලියැවුණු “යහවේ” යන ඒ නම සිංහල බයිබලයේද යහවේ ලෙසින්ම ලියැවී තිබුණත්, සිංහලෙන් එහි සැබෑ අර්ථය පැහැදිලිව නොපෙනෙන හේතුව නිසා ඒ සැඟවුණ අර්ථය දැනගැනීමට නම් අපිට ඒ වෙනුවෙන් හෙබ්‍රෙව් බසින් විස්තර වන ඒ වචනයේ සිංහල අර්ථය සොයා දැනගැනීමට සිදුවෙයි.

හෙබ්‍රෙව් භාෂාවට අනුව “යහවේ” යන ඒ නම අර්ථවත් කෙරෙන්නේ; අඩුවීමක් හෝ නැතිවීමක් නොවෙන; ආරම්භයක් හෝ අවසානයක් නොමැති; සැමවිටම සෑම තැනකම එකසේ විද්‍යමානාව සිටින; සියල්ලෙන් පරිපුර්ණවූ; සියල්ල කළහැකි; සියල්ලේම දෙවියන්ව සිටින මම, යම්සේ සිටිම්ද, ඒ ආකාරයෙන් සැමවිටම සෑම දෙයක් වෙනුවෙන් එකසේ පෙනී සිටිමි යන අර්ථයයි.

“යහවේ” යන ඒ වචනයේ ගැඹුරු අර්ථය එයයි. ඕනෑම අවස්ථාවක් හෝ දෙයක් ඉදිරියේ දෙවියන් ලෙසින් පමණක් “මම" සැමවිටම සැම තැනකම එකසේ පෙනිසිටිමි” යන ඒ වෙනස් නොවෙන ස්වභාවය අර්ථවත් කරන තේරුමෙන් එය අර්ථවත් වෙයි.

දෙවියන්වහන්සේම විසින් තමා ගැන දෙනලද ඒ නම අපට නොපෙණෙන මේ ආත්මික බලවතාගේ පරම ස්වභාවය ගැඹුරින් එලිදරව් කරයි. දෙවියන්වහන්සේට පමණක් ආවේණික වන උන්වහන්සේගේ විශේෂ ස්වභාවයන්ද ඒ තුල ගැබ්ව තිබෙනු පෙනෙයි. බයිබලයේ ඇති වාර්තා වලට අනුව නමක් යොදා ගනිමින් දෙවියන්වහන්සේ පෙනීසිටිය අවස්තාව වන්නේද මෙය පමණි.

දෙවියන්වහන්සේට කාළයේ පටන් ගැන්මක් හෝ අවසානයක් නැතුවා මෙන්ම; අප මුහුණ දෙන කාලය නමැති ඒ සීමාව පවා උන්වහන්සේට සීමා නොවන්නේ, දෙවියන්වහන්සේ “කාළය” නමැති ඒ සීමාවේද මැවුම් කාරයාණන් වන හේතුවයි. කාළය නමැති මිනුම් දණ්ඩෙන් පිටත ජිවත්වන දෙවියන්වහන්සේට සදාකාළයේ අවසානයක් හෝ ඇරඹුමක් නොවෙන බැවින් උන්වහන්සේ දෙවියන්වහන්සේ ලෙසින් සදාකාලයේ සදාකාලිකව වැඩවාසය කරනා බවත් උන්වහන්සේම අපට කියා සිටියි.

කුරුසියේ මරණය පරදවා නැවත ජීවමානව ප්‍රකාශ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බොහෝදෙනා බලා සිටියේදී ස්වර්ගයට ඔසවා ගනු ලැබීමට ස්වල්ප මොහොතකට ප්‍රථමයෙන්, තම අනුගාමිකයන්ට පැවසු අවසාන පොරොන්දුව වන්නේ, “ලෝකාන්තිමය දක්වාම මම නුඹලා සමග සිටිමි” යන ඒ පොරොන්දුවයි. දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙසින් පෙනීසිටිය යේසුස් වහන්සේගේ ඒ පොරොන්දුව තුලින්ද දෙවියන්ට පමණක් අවේනික වූ ඒ "සදාකාලික" ස්වභාවය උන්වහන්සේ තුළින්ද මතුවනු පෙනෙයි. මමද සෑම කල්හිම නුඹලා සමග සිටිමියි යනුවෙන් උන්වහන්සේ පවා ලොකාන්තිමය යන ඒ සදාකාලය ගැන කතා කරයි.

“යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට; "ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස්, සියළු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධ ආත්මයාණන්ගේත් නාමයට ඔවුන් බව්තිස්මය කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්නටත් උගන්වන්න. මමද ලොකාන්තිමය දක්වා සෑම කල්හීම නුඹලා සමග සිටිමි.” -මතෙව් 28:20

ඒ අනුව පරණ ගිවිසුමේ පෙනීසිටින දෙවියන්වහන්සේ සදාකාලික ස්වභාවයකින් යුතුවූ අයෙකු බව පෙන්වාදී ඇති පරිද්දෙන්ම, මරණය පරදවා නැවත නැගිටුන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්ද උන්වහන්සේ සතු සදාකාලික ස්වභාවය එළිදකියි. ජිවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් තම අනුගාමිකයන්ට දුන් ඒ අවසාන පොරොන්දුවේ සඳහන් “සෑම කල්හීම” යන ඒ වචනය "සදාකාලික" යන තේරුම ගැන සාක්ෂි සපයයි.

දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේම ස්වරුපයට අනුව සාදා මවන ලද මිනිස් වර්ගයාගේ ස්වභාවයද ආරම්භයේදී සදාකාලික එකක් වූ බව බයිබලය කියාසිටියි. පළමු මිනිස් යුවලගේ අකීකරුකම හේතුවෙන් පොළොවේ දුවිල්ලට හිමිකම් ඇති අපගේ ශාරීරික පැත්තෙන් මරණය අපට හිමිවුවත්, දෙවියන්වහන්සේ විසින් දෙන ලද අපගේ ආත්මය සදාකාලික එකක් වන බැවින්, අප සතු අපගේ ඒ ආත්මික පැත්ත නොමැරී සදාකාලයේ ජිවත්වන බව බයිබලයේ ඇති ඉගැන්වීම ඒ ගැන පැහැදිලි කර සිටියි.

මරණින් මතුවටත් දිවයන අපගේ ඒ සදාකාලිකවූ ආත්මික පැත්ත ගතකිරීම වෙනුවෙන් අපට තෝරාගැනීම් දෙකක් තිබෙන බවත් එසේම ඒ වෙනුවෙන් ඇති ඒ තෝරාගැනීම අප මොලොව ජීවත්ව සිටියේදී තීරණය කලයුතු එකක් බවත් පෙන්වාදෙන දේවවචනය, ඒ ගැන පවසා ඇති අනෙක් කාරණය වන්නේ; ඒ තීරණය ජීවත්ව සිටියෙදී අප එකිනෙකා විසින් ගත යුතු එකක් බවයි. එයින් අදහස් කෙරෙන්නේ අප මියගිය පසු අප වෙනුවෙන් ජීවත්ව සිටින නෑදෑ හිතමිතුරන් කරන පින්කම් වලින් ඒ වෙනුවෙන් පිහිටක් අපට ලබාගත නොහැකි බවයි.

මෙලොව ජීවත්ව සිටින විටදී මෙන්ම මරණින් මතුවට ඇති ඒ සදාකලයේදී පවා දෙවියන්වහන්සේ සමග උන්වහන්සේ වැඩසිටින ඒ ස්ථානයේ ජීවත්වීම දැකීම පමණක් අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ එකම කැමැත්ත බව කියා සිටින දෙවියන්වහන්සේ; මිනිස් වර්ගයා උන්වහන්සේ වෙතට නැවත සම්බන්ධ වීමට හැකි මාර්ගය පෙන්නා දෙන පිණිස අබ්‍රහාම් තෝරාගත් බවත් ඉන්පසු ඔහුගේ පරම්පරාව තුලින් උන්වහන්සේම ලෝකයාට ගැලවීමේ මාර්ගය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත පුජාව තුලින් සපයා දුන් බවත් කියා සිටියි.

ඒ ඈත අතීතයේ ජීවත්වූ මිනිසුන් මාධ්‍යයේ එළිදරව් වෙමින් උන්වහන්සේ පමණක් දෙවියන් ලෙසින් ඔවුනට එළිදරව් වී සිටීමත්, එසේම මේ වර්තමානයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සපයා දෙනලද ඒ ගැලවීම කරණකොටගෙන අප වෙනුවෙනුත්, එසේම මතුවට උපදින ඒ අනාගත පරම්පරාවන් වෙනුවෙනුත් දෙවියන්වහන්සේ පවසා සිටින එකම පණිවිඩය වන්නේත් එයයි. එනම් ආශිර්වාදයෙන් පිරි ජිවිතයක් ගතකරනා පිණිස පාපයට සමාව ලබාගෙන උන්වහන්සේ වෙතට සම්බන්ධ වන ලෙසින් කරන ආරාධනයයි.

“ඉශ්රායෙල්ගේ දෙවි වූ ස්වාමින්වහන්සේ මෙසේ කියනසේක; මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කාලයේදී මා ඔවුන් සමග කථාකලේත් ඔවුන්ට අණකලේත් දවන පුජාද යාගද යන මේ කාරනා ගැන නොවේය. නුමුත් මා ඔවුනට අණ කලේ; මාගේ හඬට කීකරුවන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. නුඹලාද සෑම කල්හිම මාගේ සෙනග වන්නහුය. නුඹලාට ශුභ සිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නට කීකරුවන්න යන කාරණයය.” -යෙරෙමියා 7: 21

“නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තේද; එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. ඔව්හු ලෝකයෙන්වත් මාංශයේ කැමැත්තෙන් වත් නොව නුමුත් දෙවියන්වහන්සේගෙන්ම උපන්නෝය.” යොහාන් 1:12

පරණ ගිවිසුම තුල දෙවියන්වහන්සේ කලාක් මෙන් අලුත් ගිවිසුම තුල සඳහන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් දෙන ලද පාපයට සමාව ලබාගෙන දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වීම යන ඒ පොරොන්දුව අද හෝ හෙට ගැන පමණක් නොව නුමුත් අපගේ ජිවිතයේ අවසාන මොහොත දක්වාත්, ඉන්පසු මරණින් මතුවට ඇති ඒ සදාකාලය දක්වාත් දීර්ඝව සදාකාලයේ ඉදිරියටත් ගමන් කරණ පොරොන්දුවකි.

එබැවින් දෙවියන්වහන්සේ යන ඒ “සත්‍යයය” එදා මෙන්ම මේ අදටත්, අද පටන් මතු සදාකාලයේදීත් වෙනස් නොවී එකසේම පවතියි. එබැවින් අප එකිනෙකා ජිවත්වන ඒ අතරතුර කාලයේදී අවංකව උන්වහන්සේගේ මුහුණ සොයන ඕනෑම පුද්ගලයෙකු විසින් දෙවියන් යන ඒ සත්‍යය අත්දැකීමට පැමිණිය හැකිබවත් දෙවියන්වහන්සේම මතක්කර සිටියි.

"නුඹලා මා සොයනවා ඇත. නුමුත් නුඹලාගේ මුළු සිතින් මා සොයන කළ මා නුඹලාට සම්බවෙනවා ඇත." යෙරෙමියා 29:13

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.